ඉකුත් ආණ්‌ඩුව සමයේ වැරදි කරපු මහා තෝරු මෝරු පැත්තක තබා කුඩා සිද්ධි පමණක් අල්ලාගෙන දිගට ඇදගෙන යන්නේ ලොකු වැරැදිකරුවන් ආරක්‍ෂා කිරීමට දැයි තමාටද සැක මතුවී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශ ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ(26) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. එසේම වත්මන් ආණ්ඩුවේ සිටින හොරකමට හිතැති , හොරුන් සමඟ ඩීල් දමන ඇතැම් කුප්‍රකට ඩීල්කාර අමාත්‍යවරුන් ගැනද රාජිත සේනාරත්න මහතා කරුණු සඳහන් කළේය. එහිදී විජේදාස රාජපක්ෂ අවි ජාවාරම්කාර නිශ්ශංක සේනාරත්න නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයෙන් ලබාදී, රට පැන්නවීමට ආදාළ අනුබලදීම සඳහා වූ තුච්ච ඩීල් මෙහෙයුම ඉදිරියේදී හෙලිදරව් කරන බවත්, එවැන්නවුන් රටටත්, ජනතාවටත්, රජයටත් මහත් හිරිකිතයක් බවද සඳහන් කළේය. ජනතාව අන්දවන වංචනික ලීලාවෙන් ජනතාව ඉදිරියේ පෙනීසිටමින් බණ දෙසන මොවුන්ගේ සැබෑ නිරුවතද අනිවාර්යෙන්ම හෙළිකරන බවද පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.
වර්තමාන ආණ්ඩුවේ ‘ඩීල්’කාරයකු සිටින බව තමන් පිළිගන්නා නමුත් මරණ වරෙන්තුව අතේ තබාගෙන එළියට පැමිණ ගොඩනැඟූ මේ ආණ්ඩුව විනාශ කිරීමට එවැනි ඩීල්කාරයන්ට ඉඩ නොදෙන බවත්, ‘ඇවන්ගාඩ්’ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට පත් කරන ලද ජනාධිපති නීතිඥවරයා එක් පැත්තකින් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙමින් අනෙක් පැත්තෙන් ඇවන්ගාඩ් අයිතිකරුගේ නීතිඥයා හැටියට පෙනී සිට ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය නිදහස් කර ගැනීමට කටයුතු කළ බව එවැනි ඩීල්වල උදාහරණයක් ලෙස පෙන්වා දුන්නේය. හිටපු නීතිපතිවරයෙක් වන එම ජනාධිපති නීතිඥයා ඇවන්ගාඩ් අයිතිකරුගේ ඇප ඉල්ලීමට විරුද්ධ නොවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන්නට ඇතැයි තමන් සිතන බවද පැවසීය.
ශෂී වීරවංශ හෝ සුදර්මන් රදලියගොඩගේ ප්‍රශ්න අනෙකුත් මහ සිද්ධීන් සමග බැලීමේදී ප්‍රශ්න නොවන බවද මේවා කරන්නේ කවුරුන්ද යන්න හොඳින් අවබෝධ කරගෙන සිටින බවද, කාන්තාවක් අත්අඩංගුවට ගැනීමෙන් කාතුළත් අනුකම්පාවක් උපදින බවද මෙවැනි දේ සිදුකර රජය අපකීර්තියට පත් කිරීමට සමහරු උත්සාහ දරන බව පෙනී යන බවද කී සේනාරත්න මහතා තෝරු මෝරු වැනි මහාපරිමාණ අපරාධකරුවන් බේරන්නේ ඉදිරියේදී තමන්ටද මෙවැනි දූෂණ කිරීමේ උවමනාවෙන් විය හැකි බවද කියා සිටියේය.
තව සති කිහිපයක් පමණක් මේ දෙස බලා සිටින බවත් නිවැරදි දේ සිදු නොවුණහොත් වැරදිකරුවන් ආරක්‍ෂා කරන අයගේ නම් හෙළිදරව් කරන බවද කීය. මේ ආණ්‌ඩුව තුළ වැරදිකරුවන් ආරක්‍ෂා කිරීමේ ඩීල්කරුවන් සිටින බව තමා පිළිගන්නා බවද වරප්‍රසාද හා වෙනත් ගනුදෙනු මත මේ දේවල් කරනු ඇති බව විශ්වාස කරන බවද කී ඇමැතිවරයා තමාත් චම්පික ඇමැතිවරයාත් ඇමැති මණ්‌ඩලයේත් ආණ්‌ඩුව තුළත් දිගින් දිගටම මේ ගැන ප්‍රශ්න කරන බව කීය.
No comments:
Post a Comment