Tuesday, 24 February 2015

නුගේගොඩ රැස්වීම හරහා උණුසුම් වූ මෛත්‍රී-මහින්ද බල අරගලය


Nugegoda-meatingනුගේගොඩ නගරයේ, ආනන්ද සමරකෝන් අනුස්මරණ වේදිකා පරිශ්‍රයේ පසුගිය 18 වැනි දින පැවැති දේශපාලන රැලිය දේශපාලනය ගැන උනන්දුව දක්වන කාගේත් අවධානය දිනාගත් රැස්වීමක් විය. එය සංවිධානය කිරීමට මූලිකත්වය ගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් කුඩා පක්ෂ කිහිපයක නායකයින් කිහිප ‍පොළකි.
දිනේෂ් ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), ඩිව් ගුණසේකර (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය), තිස්ස විතාරණ (ලංකා සම සමාජ පක්ෂය), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය) ආදීහු මෙහිදී කැපී පෙනුණහ.
ඔවුන් මෙම රැස්වීම පැවැත් වූයේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ලක්ෂ 58කට ආසන්න ජනතාව වෙනුවෙන් බව පැවසිණි. මෙම ඡන්දදායක පිරිසගේ අභිලාෂයන්ට නායකත්වය දීමත්, මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයෙන් පසු රටේ අගමැතිවරයා බවට පත් කිරීම සඳහා කටයුතු කිරීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණු ලෙස ප්‍රකාශයට පත් විය. 'මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද?' යන්න රැස්වීමේ තේමා පාඨය විය.
රැස්වීම සංවිධානය කළ පාර්ශ්වය පවසන ආකාරයටම මෙරට ඡන්දදායකයින්ගෙන් ලක්ෂ 58ක් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය ලබා දීම සුළුවෙන් තැකිය හැකි හෝ අමතක කර දැමිය හැකි කාරණයක් නොවේ. 
මෙම ඡන්දදායකයින් රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්නට හේතු වූ ප්‍රධාන කාරණා කිහිපයක් හඳුනා ගත හැකිය.  රට කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේදී දුන් නායකත්වයත්, කුමන්ත්‍රණකාරී විදේශ බලවේග ලෙස හඳුනා ගැනුණුබලවේගවලින් රට ආරක්ෂා කර ගැනීමට කටයුතු කළාය යන ආකල්පයත්, පසුගිය කාලයේ යටිතල පහසුකම් ඇතුළු රටේ භෞතික සාධකවල සිදු වුණු 'සංවර්ධනය' ලෙස සැලකුණු ක්‍රියාදාමයත් මෙහිදී කැපී පෙනෙයි. ලක්ෂ 58ක ජනතාවක්, ඉහත කී කාරණා ප්‍රධාන කොට ගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දයදීම කවුරුන් හෝ කෙනෙකු අරුත්සුන් හෝ මෝඩ වැඩක් හෝ යනුවෙන් පවසා පසෙකට දමන්නේ නම් එය යථාර්ථවාදී කටයුත්තක් කියා සිතන්නට නුපුළුවන. මන්දයත් එකී ඡන්දදායකයින්ගේ මෙම විශ්වාසයන්ට කිසියම් වලංගුතාවක් පවතින නිසාය. 
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේදී, ජාත්‍යන්තර බලවේගවල දේශපාලන න්‍යාය පත්‍රයන්ට මුහුණ දීමේදී, 'සංවර්ධන' ක්‍රියාදාමයේදී හිටපු ජනාධිපතිවරයා  කිසියම් නායකත්වයක් දුන් බව පිළිනොගැනීමට තරම් කෙනෙකු අන්තයට යනු ඇතැයි නොසිතමි. එසේ පිළිනොගන්නේ නම්  එය එක්තරා ආකාරයකින් පටු, කුහක කල්පනාවකි. එනිසා මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් පිරිස විශේෂයෙන්ම රටේ ප්‍රධාන සහ ප්‍රබල මතවාදී බලවේගයක් නියෝජනය කරන පිරිසක් ලෙස හඳුනාගත යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.  රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු එම බලවේගය නායකත්වයක් බලා‍පොරොත්තු වන බලවේගයක් වන අතර නුගේගොඩ රැස්වීම සංවිධානය කළ පිරිස එක් අතකින් ඉටු කරන්නට යන්නේ එම වුවමනාව බව කාටත් පැහැදිලිය.
සන්ධානය තුළ සිටි මෙම පක්ෂ මතෛක් කලක් සිය දේශපාලන ගමන ගියේ මහින්ද නායකත්වය දුන් ශ්‍රීලනිපය සමග වුවද දැන් ඊට නායකත්වය දෙන්නේ මහින්ද නොව මෛත්‍රී-චන්ද්‍රිකා පාර්ශ්වයයි. රනිල්ගේ හෙවනැල්ලද ඊට යම්තාක් දුරකට වැටී ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි. 
මෛත්‍රී මේ රටේ ජනාධිපති ධුරයට පත් වූයේ එජාපයේ, දෙමළ ජනයාගේ, මුස්ලිම් ජනයාගේ ඡන්දවලින්ය යන්න ඉහත කී බලවේගයේ විශ්වාසයයි. එම නිසා මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් පාර්ශ්වය, සිංහල, බෞද්ධ, ග්‍රාමීය පදනමක් ඇති ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වීම මතෛක් ශ්‍රීලනිපය සිය නායක බලඇණිය ලෙස සැලකූ ඉහත කී මතවාදී බලවේගයට ප්‍රශ්නයකි. එම නිසා ඔවුන් දැන් විකල්ප නායකත්වයක් සොයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වරක්  තමුන් වෙනුවෙන් දිනා දිය හැකි නායකත්වයක් සොයයි. 'නුගේගොඩ කණ්ඩායම' ඉටු කරන්නට යන්නේ එම නායකත්වය සපයා දීමේ අභියෝගයයි.
නමුත් මෙම පාර්ශ්වය එතරම් සැලකිල්ලට නොගන්නා සහ තම දේශපාලන වැඩපිළිවෙළ තුළ බැරෑරුම් ලෙස සාකච්ඡාවට නොගන්නා කාරණා රැසක්ද පවතියි. උදාහරණයක් ලෙස මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ රටේ මහජන මුදල් බිලියන ගණනින් විශාල ගසාකෑමකට, නාස්තියකට, හිතුවක්කාරී භාවිතයකට ලක්ව ඇති බවට මේ වනවිට දැවැන්ත චෝදනා කන්දරාවක් එල්ල වෙමින් පවතියි. නමුත් මෙම, ජාතික වශයෙන් අතිශයින් වැදගත්  කාරණය ගැන මේ පාර්ශ්වය වැඩිය කතා කරන්නේ නැත. ඔවුන් හැසිරෙන්නේ එවැන්නක් මේ රටේ සිදුව නැති ආකාරයෙන් යැයි කෙනෙකුට සිතුණහොත් එය වැරැද්දක් යැයි සිතිය නොහැක.
මහින්ද රාජපක්ෂ මහතාට ලක්ෂ 58ක් ඡන්දය දුන්නේ ජනවාරි 8 වැනිදාය. නමුත් ජනවාරි 8 වැනිදාට පසුව මේ වනවිට බොහෝ දේ සිදු වී තිබේ. රට තුළ පසුගිය ආණ්ඩුව යටතේ සිදු වූ බව කියන රුපියල් බිලියන ගණන්වල දැවැන්ත මූල්‍ය වංචා සහ අක්‍රමිකතා, මහජන මුදල් ගසාකෑම් රාශියක් පිළිබඳව,  ජනවාරි 8 වැනිදා ඡන්දය දෙන්නට යද්දී ජනතාව නොදැන සිටි අලුත්ම අලුත් කාරණා රැසක් මේ වනවිට කරළියට පැමිණ තිබේ. 
මෙම තත්ත්වය තුළ ජනවාරි 8 වැනිදාට පෙර සිටි ඡන්දදායකයා සහ අද සිටින ඡන්දදායකයා එක්කෙනෙකුම විය හැකිද යන්න අවධානය යොමු විය යුතු කාරණයකි. එසේම එදා සිටි ඒ ලක්ෂ 58 දැන් මේ අලුත් හෙළිදරව් කිරීම් හමුවේ තවමත් ඒ ආකාරයෙන්ම සිටිනවාද යන්නද සැක සහිත කාරණයකි. තවමත් මෙම වංචා, දූෂණ  චෝදනා ඔප්පු කර වැරදිකරුවන්ට දඬුවම් ලබා දී නැති බව සත්‍යයක් වුවත් එම දූෂණ, අක්‍රමිකතා පිළිබඳව හෙළිදරව් කළ පාර්ශ්ව එය කළේ සහ කරමින් සිටින්නේ තමා කරන චෝදනා පිළිබඳව විශාල විශ්වාසයකින් සහ වගකීමකින්  බව පෙනේ. අපක්ෂපාතී, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වුවහොත් මේ බොහෝ වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට චෝදනා ලැබ සිටින පිරිස වැරදිකරුවන් වනු ඇති බවක්ද පෙනී යයි.
නුගේගොඩ රැස්වීම සංවිධානය කළ පාර්ශ්වය අදහස් කරන්නේ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ කෙතරම් වංචා දූෂණ අක්‍රමිකතා ආදිය සිදුවුවත්, මහජනතාවගේ මුදල් මහා පරිමාණයෙන් නාස්ති කර ඇති බව පෙනී ගියත්, ඒ කිසිවක්  ගණන් නොගෙන මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ආ යුතු බවද? පශ්චාත් ජනාධිපතිවරණ සමය තුළ එළිදරව් වෙමින් ඇති ඉහත කී ආකාරයේ කාරණා සමග ලංකාවේ ඡන්දදායකයා මෙරට  දේශපාලන සංස්කෘතිය ගැන, ආර්ථිකය තුළ සිදුව ඇති බව පෙනෙන කුමන්ත්‍රණ ගැන දැවැන්ත දැනුම්වත් වීමක් ලබමින් සිටියි. ඡන්දදායකයා ලැබූ මෙම අලුත් දැනුම්වත්භාවයට 'නුගේගොඩ කණ්ඩායමේ' වැඩපිළිවෙළ තුළ වටිනාකමක් නැද්ද? ඔවුන්ට වුවමනා වන්නේ එම අලුත් දැනුම්වත්භාවයට වටිනාකමක් ලබා නොදී, එයට බැරෑරුම් අවධානයක් ලබා නොදී ඡන්දදායකයා ජනවාරි 8ට පෙර, ඒ සම්බන්ධයෙන් සිටි 'අන්ධකාර' තත්ත්වයේම තැබිමටද යන ප්‍රශ්න අප හමුවේ මතුවෙයි.
'නුගේගොඩ කණ්ඩායමේ' මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකු වන විමල් වීරවංශ මහතාම මේ රටේ ආර්ථික ඝාතකයින් සහ ආර්ථික කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බවට කලකට ඉහත දැවැන්ත ඝෝෂාවක් නැගුවේය. ඒ ඌව මැතිවරණයට ඔහුගේ පක්ෂය විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටි අවධියේය. නමුත් අද ඔහු මේ ආර්ථික ඝාතන හෝ ආර්ථික කුමන්ත්‍රණ ගැන කතා නොකරන තරම් වන අතර ඔහු එදා පැවැසූ දේවලට අද ඔහු දෙන වටිනාකම කුමක්ද? අද ඔහුටවත්, එදා ඔහු කී දේවල වටිනාකමක් නැත්ද?
මෛත්‍රී-රනිල් ආණ්ඩුව මෙම ආර්ථික ඝාතනවලට සහ ආර්ථික කුමන්ත්‍රණවලට එරෙහිව ඉදිරියට ගන්නට  සූදානම් වන ක්‍රියාදාමය එදා තමාම පැවැසූ ආර්ථික ඝාතන කුමන්ත්‍රණවලට විසඳුමක් සෙවීමක් ලෙස විමල් වීරවංශ මහතා දකිනවාද  නැද්ද? ඔහු එසේ නොදකින්නේ නම් ඒ 'නොදැකීම' ඔහු  සාධාරණීකරණය කරන්නේ කෙසේද? අනෙක් අතට එසේ දකිනවා නම් ඔහු ඇතුළු පාර්ශ්වය  ඔවුන්ගේ වැඩපිළිවෙළ තුළ එය ස්ථානගත කරන්නේ කොතැනද?
'නුගේගොඩ කණ්ඩායම' ප්‍රධාන වශයෙන් කරලියට ගන්නේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් හරහා රටට එරෙහි බෙදුම්වාදී බලවේග, ජාත්‍යන්තර බලවේග නැවත ප්‍රබල ලෙස රට තුළ ක්‍රියාත්මක වනු ඇතැයි යන්නය. ඔවුන්ගේ වැඩපිළිවෙළේ ප්‍රධාන සටන් පාඨය එයය. නමුත්,  විමල් වීරවංශ වැන්නන් එදා පැවැසූ ආර්ථික ඝාතන සහ ඒ හා බැඳුණු විවිධ ආර්ථික කුමන්ත්‍රණ ආදියට එරෙහි ප්‍රබල සහ අවංක සටනක්ද අනිවාර්යයෙන්ම ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙළ තුළද අන්තර්ගත විය යුතුමය. ජනාධිපතිවරණ සමයේ සහ විශේෂයෙන්ම පශ්චාත් ජනාධිපතිවරණ සමය තුළ ඡන්දදායකයාට ලැබුණු, අප ඉහත කී 'අලුත් දැනුම්වත් වීම්' වලට වටිනාකමක් ලැබෙන්නේත්, 'නුගේගොඩ කණ්ඩායමේ' වැඩපිළිවෙළ වඩාත් ඉදිරිගාමී සහ පුළුල් වැඩපිළිවෙළක් වන්නේත් එවැන්නක් සිදුවන්නේ නම් පමණය. 
විමල් වීරවංශ මහතාම පිළිගන්නා මෙම ආර්ථික ඝාතන, ආර්ථික කුමන්ත්‍රණ  පැරදවිය හැක්කේ රට තුළ යහපාලනය, නීතියේ ආධිපත්‍යය, තොරතුරු දැනගැනීමේ අයිතිය ආදී යාන්ත්‍රණයන් ද ශක්තිමත් ලෙස ක්‍රියාවට නැංවීමෙනි. එයද මෛත්‍රී-රනිල් පාලනයේ ප්‍රධාන වැඩපිළිවෙලකි. එවැනි වැඩපිළිවෙළක් නුගේගොඩ කණ්ඩායමටද සිය අනාගත සැලසුම්වලට එක් කරගැනීමට සිදුවනු ඇත. එසේ නොවන්නේ නම් එය මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් බහුතර, අහිංසක ඡන්දදායකයා කලින් සිටි 'අඳුරේම' තබමින් ඔවුන් ගොනාට ඇන්දවීමක් වනු ඇත. එසේම හුදෙක් බලලෝභය මත පමණක් හෝ  ආත්මාර්ථකාමී ලෙස  දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා පමණක් හෝ කරන දේශපාලන මෙහෙයුමක් ලෙස ඔවුන්ගේ මෙම අලුත් ව්‍යාපාරය බුද්ධිමත් සමාජය ඉදිරියේ නිරුවත් වීමට වුවද ඉඩ තිබේ. නමුත් මෙම නුගේගොඩ කණ්ඩායමේ කතිකාව තුළ ඉහත කී කාරණා ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු වන්නේද යන්න සැක සහිතය.
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තුළ මහජන මුදල් ගසාකන දූෂිතයින්, වංචාකාරයින්, විවිධ ඩීල්කාරයින්, කුඩු එතනෝල් ජාවාරම්කාරයින් බොහොමයකට රැකවරණ ලැබුණු බවට බරපතළ චෝදනා එල්ල වෙයි. ඉතින් ඒවා සත්‍ය නම්, එම වරදකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා කරන බරපතළ මැදිහත්වීමකින්ද, එවැනි දූෂිත තත්ත්වයක් ඇති වීම පිළිබඳව බැරෑරුම් සොයා බැලීමකින්ද, එමෙන්ම ඒ පිළිබඳ අවංක ස්වයං විවේචනයකින්ද තොරව නැවත මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා 'නුගේගොඩ කණ්ඩායම' විසින් කෙරෙන මෙහෙයුමක්, අප ඉහත කී අලුත් දැනුම්වත්භාවයකින් සන්නද්ධව සිටින ඡන්දදායකයා හමුවේ සාධාරණීකරණය කරන්නේ කෙසේද යන ගැටලුවද අවධානයට ලක් විය යුතු නොවන්නේද? අනෙක් අතට මෛත්‍රී-රනිල් ආණ්ඩුවද ඉහත කී දූෂිතයින්, ඩීල්කාරයින්, ජාවාරම්කාරයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාද වීම හෝ අකාර්යක්ෂම වීම මගින් සිදුවනු ඇත්තේ පසුගිය කාලයේ සිදුවූ බව කියන වංචා, දූෂණ, අක්‍රමිකතා පිළිබඳ කරදරවීමකින් තොරව, ඒ පිළිබඳ ස්වයං විවේචනයකින් තොරව වුවද ඉදිරියට යාමට 'නුගේගොඩ කණ්ඩායමට' අවකාශයක් විවර වීම බවද අමුතුවෙන් කිව යුතු නැත. එම නිසා මෛත්‍රී-රනිල් පාර්ශ්වය ඉහත කී දූෂිතයින්ට, ඩීල්කාරයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වඩාත් කාර්යක්ෂම වීම, මෙම අක්‍රමිකතා පිළිබඳ අප ඉහත කී  අලුත් දැනුම්වත්භාවය ලැබූ ජනතාවට සාධාරණය ඉටු කිරීමක් වනු ඇති අතරම, 'නුගේගොඩ කණ්ඩායමට'ද සිය දේශපාලන උපාය මාර්ග පිළිබඳ අලුතෙන් සිතන්නට බල කෙරෙන්නක් වනු ඇත.
අප ඉහත සඳහන් කළ ආකාරයට රටේ මූල්‍ය අක්‍රමිකතා සහ ආර්ථික කුමන්ත්‍රණ ගැන මෑත කාලයේ අලුත් දැනුම්වත්භාවයක් ලැබූ ඡන්දදායකයා පිලිබඳව 'නුගේගොඩ කණ්ඩායමේ' අවධානය යොමු විය යුතු සේම මෛත්‍රී-රනිල් පාර්ශ්වයේද අවධානය යොමු විය යුතු තවත් 'දැනුම්වත්භාවයක් ජනතාව තුළ වෙයි. එනම් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ රජයන් ගෙන ගිය මෙහෙයුම හමුවේ සහ අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි ආයතනවල ක්‍රියාපිළිවෙත් ආදිය හමුවේ  ජනතාව ජාත්‍යන්තර දේශපාලන බලවේගවල සූක්ෂ්ම න්‍යාය පත්‍රයන් සහ සැලසුම් ගැනද ලැබූ අලුත් දැනුම්වත්භාවයයි. 
මෙම දැනුම්වත්භාවය මහින්ද රාජපක්ෂ වටා මෙරට බහුතර සිංහල, බෞද්ධ ඡන්දදායකයා ප්‍රබල බලවේගයක් ලෙස ඒකරාශී කිරීමට දායක වූ බවද අමතක කළ යුතු නොවේ. මහින්ද රාජපක්ෂ වීරත්වයට නැගුණේ සහ අදත් 'නුගේගොඩ කණ්ඩායමේ' ශක්තිය ගොඩනැගෙන්නේ  මෙම බලවේගය පදනම්  කරගෙන බව ඉතා පැහැදිලිය. එනිසා මෛත්‍රී-රනිල් පාර්ශ්වය ඡන්දදායකයාගේ මෙම, දෙවනුව කී අලුත් දැනුම්වත්භාවයටද වටිනාකමක් ලබා දීම මෙන්ම ජාත්‍යන්තර පාර්ශ්ව සහ ජාත්‍යන්තර සාධක කළමනාකරණයේදී මෙරට ඡන්දදායකයාගේ එම දැනුම්වත්භාවයද සැලකිල්ලට ගෙන කටයුතු කිරීම රටට මෙන්ම මෛත්‍රී-රනිල් පාර්ශ්වයේ පැවැත්මටද ගුණදායක වනු ඇත. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජාතික සහ ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේගවල ඉත්තෙකු ලෙස හංවඩුවක් වැදී ඇති පසුබිමක එය වඩාත් වැදගත් වනු නොඅනුමානය.

No comments:

Post a Comment